ජාතිවාදය වපුරමින් සහ වෛරය පතුළුවමින් සමාජ අස්ථාවර කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැඩිව අවධාරණය කර සිටී. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම ස්ථාවරය ප්‍රකාශයට පත් කෙරුණු අතර, පසුගිය වසර දෙක තුළ මෙරට කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබූ පරිසරයක් නිර්මාණය කිරීමට වත්මන් රජය සමත් වීම ජාතික ආරක්‍ෂාව සහ සංහිඳියාව පිළිබඳ පැහැදිලි සන්ධිස්ථානයක් ලෙස ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට එරෙහිව සහ තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීමේ ජාතික මෙහෙයුමට ප්‍රජාවන්ගේ සහයෝගය හිමිවෙමින් පවතින පසුබිමක, ඇතැම් දේශපාලන කණ්ඩායම් පටු අරමුණු මත පදනම්ව යළිත් ජාතිවාදී ප්‍රචාරයන් ගෙන යාමට උත්සාහ දරමින් සිටින බව හෙළි විය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පාලකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට නීත්‍යානුකූල අයිතියක් තිබුණද, ආගමික හෝ ජාතික සංස්කෘතික අනන්‍යතාවන් මුල් කරගනිමින් සමාජය තුළ අනාරක්ෂිත භාවයක් හෝ බියක් වැපිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොතබන බව උලමා සංවිධානයේ නියෝජිතයන් හමුවේ ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේය.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සැබෑ සාධාරණත්වය ඉටු කිරීමේ අවශ්‍යතාව සහ ආගමික ග්‍රන්ථ අධ්‍යයනයට මෙන්ම නිල ඇඳුම් වැනි පරිපාලනමය ගැටලු විසඳීමට ආරක්ෂක අංශ සමඟ එක්ව ක්‍රියාත්මක වන තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. සියලු ප්‍රජාවන්ගේ නිසි නියෝජනය සහ සමාජ ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරියට ගෙන යන මෙම ජාතික සංහිඳියා වැඩපිළිවෙළ මඟින් මෙරට අන්තවාදී උත්සාහයන් පරාජය කර ස්ථාවර අනාගතයක් ගොඩනැඟීමට අවශ්‍ය මූලික පදනම මේ වන විටත් සාර්ථකව සකස් කර තිබේ.














