ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන තෙක් එනම් 2029 ජනවාරි දක්වා මැදපෙරදිග ඉරාන යුද්ධය දීර්ඝ වීමේ දැඩි අවදානමක් පවතින බවට ධවල මන්දිර උපදේශකයින් විසින් රිපබ්ලිකන් නායකයා වෙත පෞද්ගලිකව අනතුරු ඇඟවීමක් කර ඇතැයි ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත අනාවරණ කර තිබේ. ඉදිරි මැතිවරණවලින් පසු ගැටුම වහාම අවසන් වන බවට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද, ඉරානය විසින් ඇමරිකානු පීඩනයට දිගින් දිගටම ප්‍රතිරෝධය දැක්වීම සහ කලාපීය තත්ත්වය පාලනය කිරීමේ අපහසුතාව හේතුවෙන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ජ්‍යෙෂ්ඨ සහායකයින් මෙම බරපතළ කනස්සල්ල පළ කර ඇත.
මෙම අර්බුදය හමුවේ ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා යෙදවීම 2027 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති අතර, මේ වන විට යුද නැව්, ගුවන් ආරක්ෂක ඒකක සහ භටයින් 50,000කට වැඩි සංඛ්‍යාවක් එම කලාපයේ රඳවා තැබීමට සිදුව තිබේ. මූලික වශයෙන් කෙටි හා තීරණාත්මක මිලිටරි මෙහෙයුමක් ලෙස සැලසුම් කළද, වර්තමානය වන විට එය දැවැන්ත භූ දේශපාලනික ගැටුමක් ලෙස වර්ධනය වී ඇති අතර, ටෙහෙරානයද ඇමරිකාව සමඟ දිගුකාලීන යුද්ධයකට මුහුණ දීමේ සූදානමින් පසුවීම ගෝලීය බලවත්තු අතර උණුසුම තවත් තීව්ර කර තිබේ.
ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක හා දැඩි පීඩන උපායමාර්ග ක්‍රියාත්මක කරමින් එහි න්‍යෂ්ටික වැඩසටහන අත්හිටුවීමට ඇමරිකාව උත්සාහ කළද, මෙම දිගුකාලීන ගැටුම මඟින් ගෝලීය බලශක්ති වෙළඳපොළට සහ කලාපීය ස්ථාවරත්වයට එල්ල වන බලපෑම සුළුපටු නොවේ. ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වන තුරු ගැටුම දිගු කරමින් ඇමරිකාවට දැඩි ආර්ථික හා යුධමය පිරිවැයක් දැරීමට සැලැස්වීම තම අරමුණ බව ඉරාන හමුදා නියෝජිතයන්ද ප්‍රකාශ කර ඇති පසුබිමක, ඉදිරියේදී ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රය තුළ මතුවිය හැකි රාජ්‍යතාන්ත්‍රික අභියෝග අතිශය සංකීර්ණ ස්වරූපයක් ගන්නා බව පැහැදිලිය.













