වසර ගණනාවක් පුරා විසඳුමක් නොලැබී පැවති රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරුවන්ගේ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 4,506ක (රුපියල් බිලියන 4.5ක්) මුදලක් වෙන් කර ඇති අතර, එහි සමාරම්භක පියවර ලෙස ඊයේ (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සේවකයින් 303 දෙනෙකු වෙත සංකේතාත්මකව චෙක්පත් ප්‍රදානය කර තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මූලික මැදිහත්වීමෙන් ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකට ලැබුණු අනුමැතියට අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සඳහා රුපියල් මිලියන 1,961ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සඳහා රුපියල් මිලියන 2,043ක් සහ ඇල්කඩුව වැවිලි සමාගම සඳහා රුපියල් මිලියන 503ක් ලෙස මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත. අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පවත්වන ලදී.














