ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එක ලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික උභයජල (Amphibious) යාත්‍රාවක් නිපදවා යුරෝපයට අපනයනය කිරීමේ ඓතිහාසික සමාරම්භක උත්සවය ඊයේ (10) කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
‘Ocean Voyager International’ ආයතනය විසින් නිපදවන ලද මෙම යාත්‍රාව මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක ආරම්භය සටහන් කරන බව උත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය. දේශීය ඉංජිනේරුවන්ගේ සහ ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාව කලාපයේ නාවික නිෂ්පාදන මධ්‍යස්ථානය බවට පත් කිරීමට අවශ්‍ය පූර්ණ රාජ්‍ය සහාය ලබා දෙන බවද හෙතෙම අවධාරණය කළේය. මෙම අවස්ථාව සඳහා SLYG සමාගම් සමූහයේ සභාපති පියර් ප්‍රින්ජියර්ස් සහ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් ඔබේසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














