නවතම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව, ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට කිලෝමීටර 02 ක් ඔබ්බෙන් පිහිටි ‘පිකැක්ස් කන්ද’ භූගත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සහ මාර්ග සංවර්ධනය අතීතයේ කවරදාකටත් වඩා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය මඟින් නිකුත් කළ නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයකින් හෙළි වී තිබේ.
වසර හයක කාලයක චන්ද්‍රිකා දත්ත නිරීක්ෂණය කරමින් සකස් කරන ලද මෙම වාර්තාවට අනුව, 2026 වසර තුළදී එම පරිශ්‍රයේ අභ්‍යන්තර මාර්ග පදදම් කිරීම, භූගත උමං මාර්ගවල දොරටු උසස් කරමින් වඩාත් ශක්තිමත් කිරීම සහ පස් ඉවත් කිරීමේ කටයුතු වේගවත්ව සිදුව ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ පවතින තත්ත්වය ඒ අයුරින්ම පවත්වාගෙන යාමට එකඟ වූ ජූනි මස සම්මුතියෙන් පසුව පවා මෙම ශක්තිමත් කිරීම් අඛණ්ඩව සිදුව ඇති බව පැවසේ.
ඊශ්‍රායල බුද්ධි අංශ වාර්තා කරන්නේ පසුගිය වසරේදී සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර මෙම පරිශ්‍රය තුළට ගෙනගොස් ඇති බවයි. කෙසේ වෙතත්, මෙම ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය කළ ඉල්ලීම්වලට ඉරානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ස්ථානයට ප්‍රහාර එල්ල කරන බවට නැවත නැවතත් තර්ජනය කර ඇති මුත්, ග්‍රැනයිට් පාෂාණයෙන් වටවූ සහ පිපිරුම් තරංග පාලනය වන පරිදි උමං දොරටු සකසා ඇති මෙම පරිශ්‍රයට සාම්ප්‍රදායික බෝම්බ ප්‍රහාර මඟින් සම්පූර්ණ හානි සිදුකිරීම අතිශය අභියෝගාත්මක බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එමෙන්ම, මිලිටරි ප්රහාරයන් මඟින් මෙම න්‍යෂ්ටික ඉදිකිරීම් තාවකාලිකව ප්‍රමාද කළ හැකි වුවද, එය ඉරාන න්‍යෂ්ටික අර්බුදයට ස්ථිර විසඳුමක් නොවන බව CSIS ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.













