ලංකා IOC, සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම දැඩි ලෙස සීමා කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, අදාළ සමාගම් මෙරටට ඉන්ධන ආනයනය කරන මිල සහ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරන මිල අතර පවතින විශාල පරතරය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.
වත්මන් රජයේ මිල සූත්‍රයට අනුව ඉන්ධන අලෙවි කිරීම හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව අදාළ පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලදී ඔවුන් පෙන්වා දී ඇති බවද ඔහු සඳහන් කළේය.
තරගකාරී මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන බවට රජය මුලින් පොරොන්දු වී තිබුණද, මේ වන විට රජය නියම කර ඇති මිල ගණන් යටතේ පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් එම සමාගම් වෙළෙඳපොළට ඉන්ධන සැපයීම සීමා කර ඇති බව පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.
මෙම සැපයුම් සීමා කිරීම හේතුවෙන් මහජනතාව මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමියන්ද දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත්, පිරවුම්හල් පවත්වාගෙන යාම පවා මේ වන විට ගැටලුවක් වී ඇති බවත් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















