එල්නිනෝ කාලගුණ සංසිද්ධිය හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට බලපෑමක් ඇතිවුවහොත්, විකල්ප වෙළෙඳපොළ හඳුනාගෙන ආහාර සැපයුම පවත්වාගෙන යාම සඳහා රජය විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර තිබේ.
පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කර ඇත්තේ, මේ වසරේ ඉතිරි කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇති නොවන බවට මේ වනවිට බලාපොරොත්තු වන බවයි.
එහෙත් ලබන වසරේ අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ආහාර ආනයනයට යම් බලපෑමක් ඇතිවිය හැකි බැවින්, එවැනි තත්ත්වයකට මුහුණදීම සඳහා කල්තියා සැලසුම් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන සහල් සම්බන්ධයෙන් රට මේ වනවිට බොහෝ දුරට ස්වයංපෝෂිත මට්ටමක පවතින බව සඳහන් වේ. එල්නිනෝ ආශ්රිත කාලගුණ අනාවැකි සැලකිල්ලට ගනිමින් ඉදිරි වගා කන්නය කලින් ආරම්භ කර, වගාව සඳහා වැසි ජලය උපරිමයෙන් භාවිත කිරීමට කෘෂිකර්ම බලධාරීන් සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත්, පරිප්පු, සීනි, ටින් මාළු, අර්තාපල්, ලොකු ලූනු, තිරිඟු පිටි, වියළි මිරිස් සහ ඇතැම් කුළුබඩු වර්ග ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සිදුවේ.
අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මේ වනවිට ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ඉන්දියාව තුළ එවැනි ගැටලුවක් නොමැති බවයි. කෙසේ වෙතත්, ලබන වසරේ කාලගුණ තත්ත්වයන් හේතුවෙන් යම් හිඟයක් ඇතිවුවහොත් විකල්ප වෙළෙඳපොළවලින් භාණ්ඩ ලබාගැනීමටත්, අවශ්‍ය අවස්ථාවලදී විකල්ප භාණ්ඩ භාවිත කිරීමටත් අවධානය යොමු කරන බව ඔහු පවසා තිබේ.
මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයද මේ වසරේදී ආහාර සැපයුම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ඉදිරියේදී ඇතිවිය හැකි අයහපත් කාලගුණ තත්ත්වයන් පිළිබඳව මේ අවස්ථාවේ නිශ්චිතව අනාවැකි පළ කළ නොහැකි බව එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
එමෙන්ම, ලෝක වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් මේ වනවිට ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දී තිබේ. උදාහරණයක් ලෙස සීනි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 120ත් 150ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිප්පු ඕස්ට්‍රේලියාවෙන් සහ කැනඩාවෙන් ලබාගත හැකි බවද ආනයනකරුවන් පෙන්වා දී ඇති අතර, ටින් මාළු ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන ලෙසද රජයෙන් ඉල්ලීමක් කර තිබේ.















