දේශීය ලොකු ලූනු නිෂ්පාදන පරිමාව ඉහළ නැංවීම සහ ගොවීන් මුහුණ දී ඇති ආර්ථික අභියෝගවලට විසඳුම් ලබා දීමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වගා විප්ලවයක් සඳහා සැලසුම් සකස් කර තිබේ. නිෂ්පාදන වියදම ඉහළ යාම සහ ආනයනික ගැටලු හේතුවෙන් ගොවි ජනතාව ලොකු ලූනු වගාවෙන් ඉවත්වීමේ අවදානමක් මතුව ඇති පසුබිමක, ‘පුනරුදයට අරුණළු’ ජාතික කෘෂිකර්ම වැඩසටහනට සමගාමීව මෙම නව වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ලොකු ලූනු අක්කරයක් වගා කිරීම සඳහා රුපියල් මිලියනයක පමණ දැවැන්ත වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් කිලෝ එකක නිෂ්පාදන වියදම ඉහළ අගයක පවතී. මෙම තත්ත්වය පාලනය කරමින් වියදම අවම කර ලාභදායී වගාවක් ලෙස බී ලූනු වගාව නගාසිටුවීම සඳහා බිංදු ජල සම්පාදන පද්ධති හඳුන්වා දී ඇත. විශේෂයෙන් වැඩි වශයෙන් ලොකු ලූනු වගා කෙරෙන මාතලේ, අනුරාධපුර, කුරුණෑගල, පොළොන්නරුව, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල තෝරාගත් ගොවීන් සඳහා බිංදු ජල යෝජනා ක්‍රම, සූර්ය බල පොම්ප, බීජ නිෂ්පාදනය සඳහා වැසි ආවරණ සහ සහන මිලට ලොකු ලූනු බීජ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම නවීන තාක්ෂණික ක්‍රමවේද හරහා ගොවීන්ට නිෂ්පාදන වියදම සපයා ගනිමින් විශාල ලාභයක් හිමිකර ගැනීමට හැකි වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.















