ජාතික වනෝද්‍යාන පද්ධතිය තුළ සංරක්ෂණ නීති දැඩිව ක්‍රියාත්මක වන පසුබිමක, යාල ජාතික උද්‍යානයේ මීගස්සෙවණ කඳවුරු බිමේදී වනජීවී නිලධාරියෙකු සහ ජ්‍යෙෂ්ඨ සංචාරක මග පෙන්වන්නෙකු ඇතුළු සංචාරකයන් 14 දෙනෙකු නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ජාතික මට්ටමින් දැඩි කතාබහට ලක්ව තිබේ. උද්‍යානය තුළ සංචාරකයන් භාරව සිටින වගකිවයුතු නිලධාරියෙකුම මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවකට හවුල් වීම හරහා ජාතික වනෝද්‍යානවල ආරක්ෂාව සහ පාලන තන්ත්රයේ විනය පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතුව ඇත.
උද්‍යාන භාරකාරීත්වයට ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මෙම නීති විරෝධී ක්‍රියාව අනාවරණය කරගෙන ඇති අතර, සැකකරුවන් සතුව තිබී මසුන් ඇල්ලීමට යොදාගත් උපකරණ රැසක්ද වනජීවී භාරයට ගෙන තිබේ. වනජීවී සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යාන තුළ මෙවැනි රාත්‍රී සාද පැවැත්වීම සහ වන සම්පත විනාශ කිරීම මීට පෙරද වාර්තා වී තිබූ පසුබිමක, මෙම සිද්ධිය මගින් හෙළිවන්නේ ආරක්ෂක අංශ සහ සංචාරකයන් අතර පවතින අනවසර සබඳතාවන්හි බරපතලකමයි.
අත්අඩංගුවට ගත් පිරිස තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, ඉදිරියේදී මෙම නඩු කටයුත්ත හරහා වනජීවී නීති කඩකරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි අපේක්ෂා කෙේ. මෙම සිද්ධියත් සමඟ ජාතික වනෝද්‍යානවල ආරක්ෂාව තවදුරටත් තීව්ර කිරීමටත්, කඳවුරු නවාතැන් නියාමනය කිරීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීමටත් බලධාරීන්ට සිදුවනු ඇත.














