නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයට පෙර තැපැල් ඡන්ද භාවිතය සීමා කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහයට එරෙහිව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබේ. ඒ අනුව, තැපැල් ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් නව අවශ්‍යතා හඳුන්වාදීමට අමෙරිකානු තැපැල් සේවයට (USPS) ලබාදී තිබූ නියෝගයක් තාවකාලිකව අවහිර කළ ෆෙඩරල් විනිසුරුවරියකගේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස නිල වශයෙන් තහවුරු කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
මැතිවරණ වංචා වැළැක්වීමේ මුවාවෙන් පසුගිය මාර්තු මාසයේදී ජනාධිපති ට්‍රම්ප් විසින් විධායක නියෝගයක් නිකුත් කරමින්, තැපැල් ඡන්ද පත්‍රිකා පුරවැසියන්ගේ නිල ලැයිස්තුවල සිටින ඡන්දදායකයන් වෙත පමණක් ලබාදෙන ලෙසටත්, ලියුම් කවර සඳහා අනන්‍ය තීරු කේත හඳුන්වා දෙන ලෙසටත් USPS වෙත උපදෙස් ලබා දී තිබිණි. කෙසේ වෙතත්, මෙම නව නීති ක්‍රියාත්මක කිරීමට මැතිවරණයට පෙර ප්‍රමාණවත් කාලයක් නොමැති වීම නිසා ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි විය හැකි බව පෙන්වා දෙමින් අමෙරිකානු ප්‍රාන්ත 23ක්, වොෂිංටන් ඩී.සී. පරිපාලනය සහ තැපැල් සේවක වෘත්තීය සමිති අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
ඒ අනුව, බොස්ටන්හි ෆෙඩරල් විනිසුරුවරියක වන ඉන්දිරා තල්වානි විසින් සැප්තැම්බර් 4 වැනිදා අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවදුරටත් බලගන්වා ඇත. කෙසේ වෙතත්, මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරියේදී අවසන් තීන්දුවක් ලබාදීමට නියමිත අතර, කොංග්‍රසයේ බලය තීරණය කෙරෙන මෙම මධ්‍ය වාර මැතිවරණය සඳහා මේ වන විටත් අමෙරිකානු ප්‍රාන්ත කිහිපයක් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර තිබේ.
















