දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා (GM) එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා, සැලසුම් කළ පරිදි ලබන 17 සහ 18 යන දෙදින තුළ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඊයේ (14) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති නායකයෝ මෙම නිවේදනය නිකුත් කළහ.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය හා මෙහෙයුම් ගැටලු මෙන්ම මගී ජනතාව මුහුණ දෙන අපහසුතා රැසක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනය කෙරෙහි තමන්ට තවදුරටත් විශ්වාසයක් නොමැති බැවින්, ඔහුව වහාම එම ධුරයෙන් ඉවත් කිරීම සිය ප්‍රධාන ඉල්ලීම බව වෘත්තීය සමිති එහිදී දැඩි ලෙස අවධාරණය කර තිබේ. කෙසේ වෙතත්, අදාළ බලධාරීන් සමඟ පැවති එම සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන් වීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට එළඹීමට සිදුවූ බව ඔවුන් පවසයි.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කිසිදු ලෙසකින් රජයට විරෝධය දැක්වීමක් සඳහා සිදු කරන්නක් නොවන බව පෙන්වා දෙන වෘත්තීය සමිති, දුම්රිය දෙපාර්තමේන්තුව යළි නඟාසිටුවමින් මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවාවක් ස්ථාපිත කිරීම සිය මූලික අරමුණ බවද වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
















