රාජ්‍ය සේවයට ප්‍රවේශ වන සහ විශේෂයෙන්ම දරුවන් සමඟ සෘජුව සම්බන්ධ වන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයින් ළමා අපරාධවලට චෝදනා නොලැබූ අය බව තහවුරු කෙරෙන විශේෂ සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළාය.
මේ සඳහා වන අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට යොමු කර ඇති අතර, පොලීසිය හෝ අදාළ නිල ආයතන මගින් මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය වේ. මීට අමතරව, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන් ද තම සේවා කඩයිම් ඉම සහ වැටුප් වර්ධක ලබා ගැනීමේදී, අදාළ කාලපරාසය තුළ තමන් කිසිදු ළමා අපරාධයකට සම්බන්ධ වී නොමැති බවට වන මෙම සහතිකය අලුත් කර ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
















