හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවට අයත් අක්කර 5ක තෙත්බිම් කලාපයක් කාබනික ස්ට්‍රෝබෙරි වගාවක් සඳහා චීන සමාගමකට වසර 5ක කාලයකට තාවකාලිකව බදු දීමට එරෙහිව ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවක් මතුවිය.
මීට වසර 40කට පමණ ඉහතදී කොත්මලේ ගාමිණි දිසානායක ජලාශය ඉදි කිරීමේදී අවතැන් වූ පිරිසක් පදිංචි කරවීම සඳහා මහවැලි අධිකාරිය මගින් පිහිටුවන ලද මෙම රුවන්පුර ජනපදයේ තුන්වන පරම්පරාව මේ වන විට එළවළු වගාව සිදු කරමින් ජීවත් වෙති. මෙම ගම්මානය ඉදි කිරීමේදී ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා අදාළ අක්කර 5ක තෙත්බිම් කලාපය සහ එහි ප්‍රධාන ජල මූලාශ්‍ර වෙන් කර තිබූ අතර, එම ජල මූලාශ්‍ර ද අයත්වන පරිදි මෙම පෞද්ගලික සමාගමට ඉඩම ලබා දීම හේතුවෙන් ගම්වාසීන් දැඩි අසීරුතාවකට පත්ව සිටියහ.
කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන්ගේ විරෝධයත් සමඟ මෙම ගැටළුවට අදාළව වගකිවයුතු පාර්ශ්ව සහ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ක්ෂණිකව මැදිහත්වී ගම්මානයේ පානීය ජල මූලාශ්‍රවලට සහ ජනතාවගේ ජීවනෝපායට කිසිදු බාධාවක් නොවන අයුරින් අදාළ ගැටළුවට සාර්ථක විසඳුමක් ලබා දීමට පියවර ගෙන තිබේ.














