උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියේ සිට ගම්පොළ දක්වා වන කොටසේ සංවර්ධන කටයුතු නොවැම්බර් මස මුල් සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට තැඹිලිගල දක්වා කොටසට සිදුව ඇති හානි සහ එහි සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මන්ත්රීවරිය සහ පස්බාගේ කෝරලේ ප්රාදේශීය සභාපති මංජුල කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් පසුගියදා (13) එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
එහිදී අදහස් දැක්වූ මන්ත්රීවරිය සඳහන් කළේ, නාවලපිටියේ සිට උලපනේ ගඩොල් බෝක්කුව දක්වා වන කොටසේ ඉදිකිරීම් ලබන මස අවසන් වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට හැකි වන බවත්, උලපනේ සිට තැඹිලිගල දක්වා වැඩ කටයුතු නොවැම්බර් මස මුල් සතිය වන විට අවසන් වන බවත්ය. ජීවිත ගණනක් අහිමි කරමින් නායාදීමට ලක් වූ උලපනේ ගඩොල් බෝක්කුව ආශ්රිත දුම්රිය මාර්ගයේ සහ නාවලපිටිය – මහනුවර ප්රධාන මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව මෙම මස 21 වන දින ආරම්භ කිරීමට නියමිතය.
නොවැම්බර් මස අවසන් වන විට නාවලපිටිය සහ ගම්පොළ අතර සියලු දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු නිම කොට යළි දුම්රිය ගමනාගමනය ජනතාවට විවෘත කරදීම රජයේ අපේක්ෂාව බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.














