වර්තමානයේ දිවයින පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නීතිවිරෝධී ඔන්ලයින් ණය යෙදුම් (Online Loan Apps) හරහා සිදුවන මූලික ජාවාරම් සහ ඉන් ජනතාව මුහුණපා ඇති බරපතළ සමාජීය හා ආර්ථික ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ‘මගේ රට මගේ උරුමය’ සංවිධානයේ නිලධාරීන් සහ සාමාජිකයන් ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හමුවී තිබේ.
මෙම හමුවේදී ඔන්ලයින් ණය ජාවාරම්කරුවන් විසින් අහිංසක පුරවැසියන් දැඩි මනෝවිද්‍යාත්මක පීඩනයකට ලක් කරමින්, පෞද්ගලික දත්ත අවභාවිත කරමින් සහ අධික පොලී අය කරමින් ගෙන යන නීතිවිරෝධී මූලස්ථාන සහ ක්‍රමවේදයන් පිළිබඳව දීර්ඝ වශයෙන් අනාවරණය කර ඇත. තවද, මෙම ජාවාරම් උගුලට හසුවී ජීවිතක්ෂයට පත්වූ සහ අන්ත අසරණභාවයට පත්වූ පවුල් වෙනුවෙන් ගත යුතු කඩිනම් නීතිමය සහ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
මෙහිදී අදාළ නීතිවිරෝධී ණය යෙදුම් තහනම් කිරීම සඳහා මහ බැංකුව, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඒකාබද්ධ කර විශේෂ විමර්ශන ඒකකයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සංවිධානයේ නියෝජිතයින් විසින් පෙන්වා දී ඇති අතර, ඊට අදාළව රජයේ මට්ටමින් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කර ඇත.














