දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සහ මාතර මැද්දවත්ත ඉසිපතනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද තලහගම ශ්‍රී ඤාණරතන නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (16) සවස 3.30 ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ මෙන්ම සැදැහැවත් ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අපවත් වන විට 89 වන වියෙහි පසුවූ උන්වහන්සේ, වසර 74ක් පුරා ඉතා ආදර්ශවත් පැවිදි දිවියක් ගත කරමින් උතුම් ශාසනික හා සමාජීය මෙහෙවරක නිරත වූ යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් දිවයින පුරා මහා සංඝරත්නය මෙන්ම දායක සභාවන් දැඩි ශෝකය පළ කර සිටිති.














