හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග මහතාගේ ජයග්‍රහණ සඳහා භාවිත කළ හෙල්ල කට්ටලයට ගුවන් ගමනක් අතරතුර සිදුවූ හානිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.
ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාව දිනූ රුමේෂ් තරංග විසින් සිය ක්‍රීඩා කටයුතු සඳහා භාවිත කළ හෙල්ල පහම තමන් පැමිණි ගුවන් යානය තුළදී කැඩී බිඳී ගොස් ඇත. මෙලෙස හානියට පත් වූ හෙල්ල අතර බුඩාපේස්ට්හිදී මීටර් 91.09ක සහ ස්විට්සර්ලන්තයේ සූරිච්හිදී මීටර් 92.07ක විශිෂ්ට දුරක් වාර්තා කිරීමට ඔහුට රුකුල් දුන් ප්‍රධාන හෙල්ලද ඇතුළත් වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රුමේෂ් තරංග විසින් අදාළ ගුවන් සේවයට එරෙහිව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ක්‍රීඩකයා මුහුණපා ඇති මෙම අපහසුතාව සැලකිල්ලට ගනිමින් ඔහුට කඩිනමින් නව හෙල්ල කට්ටලයක් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කර තිබේ.













