ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව, 2026 සැප්තැම්බර් 25 දින සිට ඔක්තෝබර් 01 දින දක්වා වන කාලය ‘ළමා දින ජාතික සතිය – 2026’ ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සෑම වසරකම ඔක්තෝබර් 01 දින ළමා දිනය සැමරෙන අතර, වර්තමානයේ දරුවන් මුහුණ දෙන අභියෝග සාම්ප්‍රදායික ගැටලු ඉක්මවා යමින් අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්රිත අවදානම්, මානසික හා සමාජයීය පීඩන සහ විවිධ ආර්ථික අවදානම් දක්වා පුළුල් වී ඇති බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මහජන දැනුම්වත්භාවය ඉහළ නැංවීම, සමාජ සංවේදීතාව වර්ධනය කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා ප්‍රජා සහභාගිත්වය වැඩිදියුණු කිරීම මෙම ජාතික සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.













