ශ්‍රී ලංකාවේ විවිධ යුගයන්හිදී (1980 සහ 1990 දශකවල කැරලි සහ යුධ සමය මෙන්ම මෑතකදී හමුවූ ස්ථාන ඇතුළුව) වාර්තා වී ඇති මෙරට ප්‍රධාන සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් පුළුල් දත්ත සංග්‍රහයක් ඉදිරිපත් වෙයි.
හෝකන්දර, අංකුඹුර, නිකවැරටිය, විල්පිට, වවුල්කැලේ, වල්පිට, සූරියකන්ද, එස්සැල්ල, බොල්ගොඩ, දොරේඅප්පා ක්‍රීඩාංගණය, චෙම්මනි, මිරුසුවිල්, ගණේෂපුරම්, මාතලේ මහ රෝහල, තිරුකේතීස්වරම්, කළුවන්චිකුඩි, මන්නාරම සතොස ගොඩනැගිල්ල සහ මුලතිව් ඇතුළු දිස්ත්‍රික්කවලින් හමුවූ මෙම සමූහ සුසාන හරහා රට තුළ සිදුව ඇති අමානුෂික ඝාතන, වධබන්ධන සහ අතුරුදහන් කිරීම්වල බිහිසුණු යථාර්ථය අනාවරණය වේ.
මෙම බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක නොවූ තැන සහ සැකකරුවන්ට දඬුවම් ලබා දීමේදී සහ නිසි යුක්තිය ඉටු කිරීමේදී නීතිමය පද්ධතියේ පවතින දුර්වලතා හා බාධා හේතුවෙන් වින්දිත පවුල් දැඩි අසාධාරණයකට මුහුණ දී සිටින බව මෙහිදී අවධාරණය කෙරේ.
එබැවින්, වධදී මරා දමන ලද සෑම මිනිසකුටම මියගියේ කවුදැයි හඳුනාගෙන තමන්ට හිමි සුසානයක ගෞරවණීය සමුදීමක් සහිතව භූමදානය වීමට ඇති මනුෂ්‍ය අයිතිය වෙනුවෙන් පෙනී සිටීමත්, මේ සඳහා පවතින නීතිමය ක්‍රමවේදයන් යල්පැන ගොස් ඇති බැවින් ඒවා වෙනස් කරමින් අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාව පවතින බවත් මෙමඟින් පෙන්වා දී ඇත.













