ප්රජාතන්ත්රවාදය යනු කඩදාසියකට පමණක් සීමා වූ වගන්ති මාලාවක් නොව පාලකයා සහ පාලිතයා අතර පවතින සැබෑ විශ්වාසය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. සෑම වසරකම සැප්තැම්බර් 15 වන දිනට යෙදෙන ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනයට සමගාමීව සැප්තැම්බර් 15 වැනිදා රාජගිරිය මහ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් සංවිධාන කරනු ලැබූ විශේෂ සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය පෙන්වා දුන්නේ 2024 වසරේදී ජනතාව තැබූ තීරණාත්මක පියවර අද වන විට විනිවිදභාවය, නීතියේ ආධිපත්‍යය, ඩිජිටල්කරණය, සමගාමී සංවර්ධනය සහ සැබෑ ජනතාවාදී පාලනයක් ලෙස මල්ඵල ගන්වමින් පවතින බවයි. ප්රජාතන්ත්රවාදයේ හදවත නීතියේ ආධිපත්‍යය වන අතර, නීතිය හමුවේ සැමදෙනාම සමාන විය යුතු බවත් කිසිදු තරාතිරමක අයෙකුට නීතියට ඉහළින් සිටීමට ඉඩ ලබා දිය නොහැකි බවත් ඇය අවධාරණය කළාය. පසුගිය කාලය තුළ නැතිවී තිබුණු නීතිය පිළිබඳ ජනතා විශ්වාසය නැවත ගොඩනඟමින් වත්මන් රජය කැපී පෙනෙන හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.














