ලෝක මට්ටමේ ජයග්‍රහණ දෙකක් හිමිකරගත් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග භාවිත කළ හෙල්ල 5ක් ගුවන් ගමනකදී හානි වීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
රුමේෂ් තරංගගේ හෙල්ල තුර්කි ගුවන් සේවය හරහා ශ්‍රී ලංකාවට රැගෙන එන අතරතුර හානි වී තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විසින් එම ගුවන් සමාගමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ ක්‍රීඩා දෙකක් වුවත්, මෙවැනි සිදුවීමකින් ඇතිවන වේදනාකාරී හැඟීම එකම බවයි.
එමෙන්ම, මෙවැනි අවස්ථාවක ඇතිවන බලාපොරොත්තු සහ හැඟීම් දරාගැනීම ඉතා අපහසු වුවත්, කෙතරම් අසීරු තත්ත්වයක් පැමිණියද සන්සුන්ව ඉදිරියට යා යුතු බවද මාලිංග සිය සටහනෙන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, ඇන්ජලෝ මැතිව්ස් සිය X ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ගුවන් සමාගම සිදුකළ බව කියන මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
ඔහු පෙන්වා දී ඇත්තේ මෙම හෙල්ල හුදෙක් ක්‍රීඩා උපකරණ පමණක් නොවන බවත්, ක්‍රීඩකයෙකුට එම උපකරණ සමඟ විශාල ආවේගාත්මක හා මතක සම්බන්ධ වටිනාකමක් පවතින බවත්ය.
ක්‍රීඩකයෙකු ලෙස තමන්ටද එවැනි වටිනාකමක් පිළිබඳව හොඳින් අවබෝධයක් ඇති බව සඳහන් කරමින් මැතිව්ස්, ගුවන් සමාගම් මගීන්ගේ බඩු බාහිරාදිය සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කර තිබෙනවා.
රුමේෂ් තරංග වෙනුවෙන් නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇති පසුබිමක, ඔහුගේ හානි වූ හෙල්ල සම්බන්ධයෙන් මෙලෙස ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන්ද සහයෝගී ප්‍රතිචාර පළවීම විශේෂත්වයක්.














