ශ්‍රී ලංකාවෙන් තුමුදු හෙවත් “තුන්මුදු රදනකයා” නමින් අලුත්ම ආවේණික සර්ප විශේෂයක් සොයාගෙන තිබේ. මෙම නව සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු සර්ප විශේෂ සංඛ්‍යාව 113 දක්වා ඉහළ යන අතර, මේ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව 2026 සැප්තැම්බර් 13 වැනිදා නිකුත් වූ Taprobanica ජාත්‍යන්තර විද්‍යාත්මක සඟරාවේ Vol. 15, No. 02 ප්‍රකාශයට පත්කර ඇත. මේ පුවත වාර්තා කර ඇත්තේ පරිසර සමාගම ෆේස් බුක් පිටුවය.
තසුන් අමරසිංහ, පැට්රික් කැම්බෙල්, සම්පත් සෙනෙවිරත්න, සංජය වීරක්කොඩි, ජොශුවා මාටා, ස්ටීව් කෙනඩි-ගෝල්ඩ්, අනූෂ අත්තනගොඩ, භානුක රණසිංහ, ගර්නොට් වොජෙල් සහ සුරංජන් කරුණාරත්න යන ජාත්‍යන්තර සහ දේශීය විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් පර්යේෂක කණ්ඩායම විසින් මෙම පර්යේෂණය සිදුකර තිබේ. අළු රදනකයාගේ (L. aulicus) මුල්ම නිදර්ශකය අස්ථානගත වී තිබීම නිසා නව නිදර්ශකයක් (Neotype) නම් කරමින් ආරම්භ කළ මෙම අධ්‍යයනයේදී, අණුකජීව විද්‍යාත්මක, බාහිර රූප විද්‍යාත්මක, හිස් කබලේ හා දන්ත ලක්ෂණ පදනම් කරගනිමින් මෙම නව විශේෂය හඳුනාගෙන ඇත. ආනමඩුව ප්‍රදේශයෙන් ලබාගත් නිදර්ශකය මුල් නිදර්ශකය (Holotype) ලෙස භාවිත කර ඇති අතර, හුන්නස්ගිරිය සහ රඹුක්කන ප්‍රදේශවලින් ලබාගත් නිදර්ශකද විස්තර කිරීම සඳහා යොදාගෙන තිබේ.
වැඩුනු ‘තුමුදු රදනකයා’ සාමාන්‍ය අළු රදනකයාගෙන් වෙනස් වන්නේ උන්ගේ ශරීරය මත පැහැදිලි හරස් මුදු 3ක් පමණක් පැවතීම සහ වෙනත් කිසිදු ලපයක් හෝ සලකුණක් නොමැති වීමෙනි. මොවුන්ගේ පැටවුන්ගේ හරස් මුදු 4-5ක් දක්නට ලැබුණද, වැඩුනු සතුන් බවට පත්වෙද්දී වලිගය දෙස සිට හිස දෙසට ඇති මුදු මැකී ගොස් ප්‍රධාන මුදු 3 ඉතිරි වේ. ආනමඩුව, රඹුක්කන, ගම්පහ, කෑගල්ල, අරනායක, මාවනැල්ල, මහනුවර, කුරුණෑගල, අම්පාර, කළුතර, මතුගම, අගලවත්ත, ගාල්ල, මාතර සහ බිබිල නිල්ගල යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති මෙම සර්පයින් වරකට බිත්තර 4ත් 5ත් අතර ප්‍රමාණයක් දමන බවද නීරික්ෂණය කර ඇත.














