පසුගිය හජ් උත්සව සමයේ දුම්මලසූරිය මස්ජිදුල් අක්බර් මුස්ලිම් පල්ලියෙහි ගවයින් 25ක් පමණ ඝාතනය කිරීමට සූදානම් වෙද්දී එම ප්‍රදේශයේම මුස්ලිම් පිරිසක් ඊට විරුද්ධ වී ඇත. ජාතික සත්ව සුබසාධන සංවිධානය (JAN) මැදිහත් වී පොලිස්පතිට සහ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිලි කිරීමෙන් පසු, පොලිසිය මඟින් අධිකරණයට කරුණු වාර්තා කර එය තහනම් කර තිබේ.
පසුව එම පල්ලියේ මව්ලවි හෙවත් පූජකයා වන ශිහබ්දීන් තම්සීර් නැමැත්තා 2026 ජූනි 12 වන දින දේව මෙහෙයකදී, සතුන් බිලිදෙන ක්‍රියාවට විරුද්ධ වූ සියලු දෙනා සහ ඉස්ලාම් ආගමේ ක්‍රියාවලට එරෙහි වන අය ඝාතනය කළ යුතු බවට භක්තිකයන්ට පැය භාගයකට අධික අන්තවාදී දේශනාවක් සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කළද, ජාතික ආරක්‍ෂාවටද තර්ජනයක් වන මෙම සිදුවීමට ICCPR පනත යටතේ චෝදනා ගොනු නොකර පොලිසිය විසින් එය සාමාන්‍ය තර්ජනයක් ලෙස පමණක් අධිකරණයට වාර්තා කර ඇති අතර, අදාළ මව්ලවිවරයාද මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැත. දිවයිනේ වෙනත් ස්ථාන ගණනාවකද සතුන් ගාල් කර තිබූ ස්ථාන පිළිබඳව සිය සංවිධානය මීට පෙරද පැමිණිලි කර තිබු බැවින් මෙම තර්ජනාත්මක ප්‍රකාශය සත්ව ක්‍රියාකාරීන්ටද සෘජුවම බලපාන බව සඳහන් වේ.
ඉහත කරුණු හේතුවෙන් පසුගිය නඩු වාරයේදී ජනාධිපති නීතිඥ මෙන්ම JAN සංවිධානයේ උප සභාපති අනුර මැද්දෙගොඩ මහතා සහ සත්ව ක්‍රියාකාරී නීතිඥ තනුජා නවරත්න මහත්මිය ඇතුළු පිරිස කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනීසී අංක 91409 දරණ එම නඩුවේ මැදිහත් පාර්ශ්වයක් (Intervened party) ලෙස ඇතුළත් වන ලෙස ඉල්ලා ලිඛිත දේශන සහ අදාළ ලේඛන ඉදිරිපත් කර ඇත. එම ලේඛන බාරගත් මහේස්ත්‍රාත්වරයා, අදාළ ඉල්ලීමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම සඳහා නඩුව 2026 නොවැම්බර් 3 වන දිනට කල් තබා තිබේ.














