අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් දිස්ත්‍රික්කයේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා නව සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවකදී මේ බව අනාවරණය වූ අතර, රාජ්‍ය ආයතන අතර විධිමත් සම්බන්ධීකරණයක් ඇති කරමින් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් අගය එකතු කළ කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහිදී මූලිකව සාකච්ඡා විය.
ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන කලාපයේ ගැටලු නිරාකරණය කරමින් එය වඩාත් ඵලදායී ලෙස සංවර්ධනය කිරීමටත්, පොලිටනල් තාක්ෂණය වැනි නවීන ක්‍රම හරහා වගා හානි අවම කර ඵලදායිතාව ඉහළ නැංවීමටත් මෙහිදී අවධානය යොමු කර තිබේ. සංචාරකයන් සහ දේශීය පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂිත වෙළෙඳ මධ්‍යස්ථානයක් අනුරාධපුරයේ පිහිටුවීමට යෝජනා වී ඇති අතර, ලබන දෙසැම්බර් මාසය වන විට විධිමත් ආයෝජන යෝජනාවලියක් සකස් කර ආයෝජක සමුළුවක් පැවැත්වීමට ද අපේක්ෂා කෙරේ. මෙම වැඩපිළිවෙළ මගින් ගොවි ජනතාවගේ ආදායම් ඉහළ නැංවීම සහ තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම අපේක්ෂිත අරමුණු වේ.














