ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින බැදීම භූගෝලීය පිහිටීම, උරුමය සහ නොබිඳෙන ඓතිහාසික ඥාතීත්වයකින් බැඳී සිටින ශිෂ්ටාචාරමය නිවුන් සොහොයුරන් ලෙස සැලකිය හැකි බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි. ඉන්දියාවේ “අසල්වැසියාට ප්‍රමුඛතාව” විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ඉතා ප්රමුඛ ස්ථානයක් හිමි වන බවත්, දෙරට අතර පවතින මෙම සබඳතාව හුදෙක් සාමාන්‍ය අසල්වැසියන්ට වඩා බොහෝ ඔබ්බට ගිය සුවිශේෂී බැඳීමක් බවත් ඔහු සඳහන් කර තිබේ.
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ දැනට පවතින රෝගී තදබදය අවම කිරීම සඳහා ඉන්දීය රජයේ රුපියල් මිලියන 600ක ආධාර යටතේ ඉදිකෙරෙන නව සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ කොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී, ඉන්දීය-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ තිරසාර ස්වභාවය ඔහු විශේෂයෙන් අගය කළේය.
ජනාධිපතිවරයාගේ අපේක්ෂාවන් සහ දැක්ම යථාවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ඉන්දියාව නිරන්තරයෙන්ම සූදානම් බව හෙතෙම අවධාරණය කළේය. එලෙසම මෙරට ජනතාවගේ සුබසාධනය, ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් ඉන්දියාව සැමවිටම නොසැලෙන විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස රැඳී සිටින බව ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම යටතේ ඉන්දීය ආධාර මත සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩකටයුතු දැනටමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ සහයෝගීතාව දෙරට අතර හවුල්කාරිත්වයේ ප්‍රධාන කුලුනක් බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා, සුප්‍රකට 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන විවිධ වෛද්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති දක්වා වූ ඒකාබද්ධ ප්රයත්නයන් මෙරට සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතවලට දැඩි හා සුවිශේෂී බලපෑමක් එල්ල කර ඇති බවත් සිහිපත් කළේය.














