අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ වාර්ෂික පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබා නොදීමට අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව පෙරහැර සංවිධාන කමිටුව විසින් අද (17) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ පෙරහැර පැවැත්වීම සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතනවලින් අවසර ලබාගෙන තිබියදීත්, පෙරහැර සඳහා පොලිස් අවසර ලබා නොදෙන බව අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.
එම තීරණය ඉවත් කර ගැනීමට නියෝග කරන ලෙසත්, එම තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත අදාළ නියෝග නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.
මීට පෙර 2026 අගෝස්තු මාසයේදී මෝදර දේවාලයේ 83 වැනි ඇසළ පෙරහැර සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක් සහ සංවිධායකයන්ට එල්ල වූ බව කියන තර්ජන පිළිබඳවද වාර්තා පළ වී තිබුණි.














