පාකිස්තාන රජය රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ ඉන්ධන සංරක්ෂණය කිරීම සඳහා නව දැඩි ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව රාජ්‍ය වාහන සඳහා වෙන් කරන ඉන්ධන ප්‍රමාණය මාස තුනක කාලයක් සඳහා 50%කින් අඩු කිරීමට කැබිනට් අංශය තීරණය කර ඇත. සන්නද්ධ හමුදා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අත්‍යවශ්‍ය සේවා සහ Federal Board of Revenue හි මෙහෙයුම් වාහන සඳහා එම සීමාව අදාළ නොවේ.
එමෙන්ම 2026/27 මූල්‍ය වර්ෂය සඳහා Non-ERE අයවැය වියදම් 5%කින් අඩු කිරීමටත්, සියලු වර්ගවල නව රාජ්‍ය වාහන මිලදී ගැනීම තහනම් කිරීමටත් පියවර ගෙන තිබේ. IT ආශ්‍රිත මිලදී ගැනීම් හැර අනෙකුත් කල් පවත්නා භාණ්ඩ මිලදී ගැනීමද සීමා කර ඇත. විදේශ සංචාර සහ ගමන් මාස තුනකට තහනම් කර ඇති අතර, අත්‍යවශ්‍ය සංචාර සිදුකිරීමට සිදුවුවහොත් අදාළ නිලධාරීන්ට Economy Class මගින් ගමන් කිරීමට උපදෙස් ලබාදී තිබේ.
රාජ්‍ය ආයතනවල රැස්වීම් හැකිතාක් වීඩියෝ හෝ දුරස්ථ සම්මන්ත්‍රණ මගින් පැවැත්වීමටත්, විදේශ නියෝජිත පිරිස් සඳහා පැවැත්වෙන අවස්ථා හැර නිල භෝජන සංග්‍රහ නතර කිරීමටත් තීරණය කර ඇත. රජයේ මුදලින් පැවැත්වෙන අනවශ්‍ය සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් සහ සමුළුද සීමා කර තිබේ. විවාහ ඇතුළු උත්සව සඳහා එක් ආහාර වර්ගයක් පමණක් ලබාදීමේ නියමයද ක්‍රියාත්මක වේ.
මේ අතර වෙළෙඳසැල්, වෙළෙඳපොළ සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 9.00ටත්, විවාහ ශාලා සහ උත්සව පැවැත්වෙන ස්ථාන රාත්‍රී 10.00ටත් වසා දැමීමට නියම කර ඇත. ආපනශාලා, කැෆේ සහ ආහාර අලෙවිසැල් රාත්‍රී 11.00 දක්වා විවෘතව තැබිය හැකි අතර, takeaway සහ home delivery සේවා එම වේලාවේ සීමාවෙන් නිදහස් කර තිබේ. ඖෂධහල්, රෝහල්, සායන, ඉන්ධන පිරවුම්හල්, විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන, ජිම්, ක්‍රීඩා පහසුකම්, IT සමාගම් සහ call centres ඇතුළු සේවා කිහිපයක්ද මෙම වේලා සීමාවලින් නිදහස් කර ඇත.














