ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අංශයේ ප්‍රගතිය සහ රාජ්‍ය අංශයේ පද්ධති නවීකරණය කිරීම අරමුණු කරගනිමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ලෝක බැංකු සමූහය අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් පසුගියදා (17) පවත්වන ලදී. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ලෝක බැංකු සමූහයේ ප්‍රධාන තොරතුරු නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඒමි ඩොහර්ටි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් හමුවී මෙම සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී ඩිජිටල් මහජන යටිතල පහසුකම් (DPI) ශක්තිමත් කිරීම, ඒකාබද්ධ රජයේ සන්නිවේදන පද්ධති පිහිටුවීම සහ දේශීය තොරතුරු තාක්ෂණ අංශය මෙන්ම නවෝත්පාදන පරිසර පද්ධතියට සහයෝගය දැක්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. ආයතන වෙත ඩිජිටල් තාක්ෂණය සාර්ථකව හඳුන්වා දීම සඳහා රාජ්‍ය නිලධාරීන් අතර තාක්ෂණික හැකියාවන් සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර, කෘත්‍රිම බුද්ධිය (AI) වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ සයිබර් ආරක්ෂාව ඉහළ නැංවීම පිළිබඳවද දෙපාර්ශවය සාකච්ඡා කර තිබේ.














