ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිත කිරීම සඳහා රුපියල් බිලියන 1.5 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. එක් දිස්ත්‍රික්කයක් සඳහා රුපියල් මිලියන 60 බැගින් මෙම ප්‍රතිපාදන ලබාදීමට නියමිත අතර, අදාළ මාර්ග ස්ථාන හඳුනාගෙන අවශ්‍ය ආරක්ෂිත සංවර්ධන කටයුතු පළාත් පාලන ආයතන හරහා සිදු කිරීමට නියමිතය.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් නිරෝෂන් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව මෙම වැඩපිළිවෙළ සඳහා අනුමැතිය හිමිවී ඇති අතර, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් සමඟ ඊට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමද මේ වන විට සිදු කර තිබේ. මාර්ග අනතුරු අවම කිරීම නීති පැනවීමෙන් පමණක් කළ නොහැකි බවත්, අනතුරු වලට හේතුවන මාර්ගවල භෞතික අනාරක්ෂිත තත්ත්වයන්ද වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.














