ගම්පහ, ඉඹුල්ගොඩ, රාජසිංහ මාවතේ කුලී පදනම මත ලබාගත් නිවසක දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ උපාධි සහතික, ලිපි ලේඛන සහ නිල මුද්‍රා මුද්‍රණය කිරීමේ ජාවාරමක් ගම්පහ පොලිස් බුද්ධි කොට්ඨාසයේ තොරතුරු මත යක්කල පොලීසිය විසින් වැටලනු ලැබ තිබේ. රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල, විභාග දෙපාර්තමේන්තුව මෙන්ම විවිධ ප්‍රධාන ආයතනවල නිල මුද්‍රා සහ අනුමත ලිපි ශීර්ෂ යොදා ගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති අතර, මෙහිදී 27 හැවිරිදි තංගල්ලේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් බුද්ධි අංශ වෙත ලැබුණු රහසිගත තොරතුරු මත උපාය දූතයන් යොදවා සිදුකළ මෙම වැටළීමේදී, ව්‍යාජ සහතික පත් 35ක්, ආයතන ප්‍රධානීන්ගේ නිල මුද්‍රා 51ක්, එම්බොස් සීල් 3ක් සමඟ ලැප්ටොප් පරිගණක සහ වර්ණ මුද්‍රණ යන්ත්‍ර රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. සාමාන්‍ය සහතික පත් රුපියල් 25,000ත් 50,000ත් අතර මුදලකට අලෙවි කර ඇති අතර, ජපානය වැනි විදෙස් රටවල් සඳහා අවශ්‍ය කරන ව්‍යාජ සහතික පත් රුපියල් ලක්ෂ හතරක ඉහළ මිලකට සකස් කර දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙලෙස සකස් කරන ලද ව්‍යාජ ලේඛන ඔස්සේ පුද්ගලයින් 200ක පමණ පිරිසක් විදෙස්ගත වී ඇති බවට සැකකරු තොරතුරු අනාවරණය කර තිබීම රටේ ජාතික ආරක්ෂාවට සහ ආයතනික විශ්වසනීයත්වයට එල්ල වූ බරපතල අභියෝගයකි.
මෙම ජාවාරම පිටුපස පුළුල් ජාලයක් ක්‍රියාත්මක වී ඇත්ද යන්න සෙවීම සඳහා යක්කල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, සැකකරු ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවැනි සංවිධානාත්මක වංචා හේතුවෙන් මෙරට අධ්‍යාපන සහ වෘත්තීය ක්ෂේත්රවලට සිදුවන හානිය වැළැක්වීම සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වන බවත්, අසත්‍ය ලේඛන හරහා විදෙස්ගත වූ පුද්ගලයන් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් බලධාරීහු පෙන්වා දෙති.













