වැලිගම පැවති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන භාවිතය සහ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් සිදුකිරීම මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ. වයෝවෘද්ධ නායකයකු ලෙස තමන් හිටපු ජනාධිපතිවරයාට ගෞරව කරන බවත් ඔහුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බවත් පවසමින්ම, දේශපාලන වශයෙන් බිඳ වැටී ඇති පාර්ශ්වයන් විසින් සිය පැවැත්ම උදෙසා අසාධ්‍ය තත්ත්වයේ පසුවන නායකයන් පවා දේශපාලන වේදිකාවලට රැගෙන ඒම දැඩි ලෙස විවේචනය කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන පදනම දැඩි ලෙස ක්ෂය වී ඇති පසුබිමක, ජනතාව ඉදිරියේ කතා කිරීමට වෙනත් මාතෘකා නොමැතිකම නිසා වයෝවෘද්ධ නායකයන් පවා දේශපාලන ප්‍රයෝජන සඳහා යොදාගැනීමට උත්සාහ දරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි ක්‍රියාමාර්ථ මගින් පෙනී යන්නේ අදාළ දේශපාලන කණ්ඩායම් මුහුණ දී සිටින දැඩි අසරණභාවය බවත්, වත්මන් දේශපාලන යථාර්ථය හමුවේ ජනතාව එවැනි හැසිරීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
රටේ දේශපාලන සංස්කෘතිය තුළ පවතින මෙම මතවාදී ගැටුම් සහ ප්‍රකාශ හමුවේ, ඉදිරි දේශපාලන ගමන් මඟ තුළ විපක්ෂයේ පාර්ශ්වයන්ගෙන් ඊට ලැබෙන ප්‍රතිචාරය කෙසේ වනු ඇද්ද යන්න දැඩි අවධානයට ලක්ව ඇත. ආණ්ඩු බලය සහ විපක්ෂයේ පැවැත්ම අතර පවතින මෙම වාදවිවාද මෙරට දේශපාලන වේදිකාව තුළ ඉදිරියේදී තවත් තීව්‍ර වීමේ ඉඩකඩක් පවතින බව දේශපාලන විශ්ෂකයෝ පෙන්වා දෙති.













