විවාහ මංගල්‍ය, සාද, ආයතනික උත්සව සහ DJ සංදර්ශන ඇතුළු උත්සවවල සංගීතය වාදනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි ගැසට් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ හඳුන්වා දී ඇති මෙම නීති පසුගිය අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. ප්‍රේක්ෂක සංඛ්‍යාව සහ උත්සවයේ ස්වභාවය අනුව බලපත්‍ර ගාස්තු රුපියල් 20,000 සිට 125,000 දක්වා වෙනස් වනවා.
මුලින්ම මෙම බලපත්‍ර අවශ්‍යතාව ACPOSL නියෝජනය කරන ශ්‍රී ලාංකික සංගීත නිර්මාණ සහ ඉන්දීය IPRS හරහා නියෝජනය වන හින්දි හා දෙමළ නිර්මාණ සඳහා අදාළ වන අතර, ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය සංගීතය පමණක් ඇතුළත් උත්සව සඳහා බලපත්‍රයක් අවශ්‍ය නොවන බව සඳහන්. උත්සව සංවිධායකයන් වාදනය කළ සංගීතය හඳුනාගැනීම සඳහා උත්සවයෙන් පසු එහි ශ්‍රව්‍ය පටිගත කිරීමක්ද ඉදිරිපත් කළ යුතුයි.













