ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් චීන මහජන සමූහාණ්ඩුවේ ජියැංෂි පළාතේ නන්චාං නගරයේ පැවති 2026 ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ සංසදයට සහභාගි වී තිබේ. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මාරසිංහගේ ජයලාල් යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම සංචාරය සඳහා එක් වූහ. නවීන තාක්ෂණය ඔස්සේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සවිබල ගන්වමින් සැමගේ මානව සෞඛ්‍යය උදෙසා එක්ව කටයුතු කිරීම යන තේමාව යටතේ මෙම සමුළුව සංවිධානය කර තිබිණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආයුර්වේද සහ දේශීය සෞඛ්‍ය සේවා උරුමය පිළිබඳව අවධාරණය කළ කථානායකවරයා, සාම්ප්‍රදායික වෛද්‍ය දැනුම නවීන විද්‍යාත්මක පර්යේෂණ සහ තාක්ෂණික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. සංසදයේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා නියෝජිත පිරිස චීන මහජන දේශපාලන උපදේශක සමුළුවේ උප සභාපතිනිය ඇතුළු උසස් නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, ඖෂධ නිෂ්පාදන සහ ආයෝඡන අවස්ථා සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කෙරිණි.
















