22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති අතර, අදාළ තීරණය අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වී තිබිණි. අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල විනිසුරු මඬුල්ල විසින් විභාග කරන ලද මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහස්‍ය තීන්දුව මේ වන විට කථානායකවරයා වෙත යොමු කර ඇති අතර, ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතය. මීට අමතරව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද කථානායකවරයා වෙත ලැබී ඇති බව වාර්තා වේ.
අද (22) ආරම්භ වී ලබන 25 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පාර්ලිමේන්තු වාරයේ කටයුතුවල ඇතැම් වෙනස්කම් සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය. ඒ අනුව අද දින පස්වරුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙට (23) දින දක්වා වෙනස් කර ඇති අතර, හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇත. එසේම විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍යමය සහනාධාරයක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුවද හෙට (23) අනුමත කිරීමට නියමිතව ඇති අතර, සැප්තැම්බර් 24 සහ 25 දිනවල පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවන බව මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.
















