සවුදි අරාබියට එල්ල වන හවුති ප්‍රහාරවලට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් සිදු කිරීම සම්බන්ධයෙන් සවුදි අරාබිය සමඟ ආරක්ෂක ගිවිසුමකට එළැඹී සිටින පාකිස්තානයේ හා තුර්කියේ අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවුති ප්‍රහාර හේතුවෙන් සවුදි අරාබියට හමුදාමය සහයක් අවශ්‍ය විය හැකි බවත්, පාකිස්තානය ද ඇතුළුව ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම යටතේ සවුදි රජයට සහය වීමට තුර්කිය සූදානම් බවත් එරට විදේශ ඇමැති හාකේන් ෆිඩාන් ප්‍රකාශ කර ඇති අතර, ආරක්ෂක ගිවිසුම මඟින් සන්ධානගත වූ එකඟතාවන් අනුව හමුදා සහය සැපයීමට හැකියාව ඇතැයි ද සඳහන් කර තිබේ.
මේ අතර ඕනෑම ආක්‍රමණයකට එරෙහිව සවුදි අරාබියේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට පාකිස්තානය සූදානම් බව එරට හමුදාවේ මාධ්‍ය අංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා වන ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චවුද්රි ප්‍රකාශ කර ඇති අතර, ආරක්ෂක ගිවිසුමට අනුව රාජ්‍යතාන්ත්‍රිකව මෙන්ම සෘජුවම සවුදි අරාබිය සමඟ පෙනී සිටින බව ඔහු අරාබි නිවුස් පුවත්පතට ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. සවුදි අරාබියට දිගින් දිගටම එල්ල වන හවුති ප්‍රහාර හමුවේ එම ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව පසුගියදා පාකිස්තානයේ ආරක්ෂක ඇමැති කවාජා අසීස් සඳහන් කර තිබේ. පසුගිය මාසයේදී අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමට අනුව එම රටවල් තුනෙන් ඕනෑම රටකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක් සෙසු රටවලට එල්ලවූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබයි.
















