එල්-නිනෝ තත්ත්වයන් සමඟ ඇති විය හැකි කාලගුණික වෙනස්කම් විද්‍යාත්මකව සලකා බලා රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් මෙවර මහ කන්නයේ වගා කටයුතු ඔක්තෝබර් මස 01 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ජලාශවල පවතින ජල ධාරිතාව සැලකිල්ලට ගෙන ඇතැම් ප්‍රදේශවල වගා කටයුතු ආරම්භ කරන දින වකවානුවල සුළු වෙනස්වීම් සිදු විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මෙවර මහ කන්නයේ සහ 2027 යල කන්නයේ වගා සැලැස්ම මෙන්ම වාරි ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් ගන්නෝරුව තොරතුරු තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව නියෝජ්‍ය ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයන්ගේද සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, ඔක්තෝබර් 01 වැනිදා වගා කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ගොවීන් ජනවාරි මස මැද භාගයේදී අස්වනු නෙළීමට සූදානම් විය යුතු බවටද මෙහිදී අවධාරණය කෙරිණි.
















