ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සහ සංචාරක ක්ෂේත්‍රයේ (MICE tourism) විශේෂ සන්ධිස්ථානයක් සටහන් කරමින්, ප්‍රථම ‘ලෝක සර්ප විද්‍යා සම්මේලනය’ 2026 ඔක්තෝබර් 01 වනදා සිට 04 වනදා දක්වා මහනුවර Grand Kandyan හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. CDC Events & Travels (Pvt) Ltd ආයතනය මගින් නිල සංවිධායක පිරිස ලෙස මෙහෙයවනු ලබන මෙම ජාත්‍යන්තර සම්මේලනය සඳහා විදේශීය නියෝජිතයින් 300කට අධික සංඛ්‍යාවක් සහ ශ්‍රී ලාංකික නියෝජිතයින් 100කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිත අතර, මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටම ඉක්මවා යාමකි.
ආචාර්ය අන්ස්ලම් ද සිල්වා, ආචාර්ය ජූලි රේ සහ ආචාර්ය ඩැනියෙල් නටුෂ් යන ජාත්‍යන්තර විද්‍යාඥයින්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම අධ්‍යයන සම්මේලනයේදී සර්ප දෂ්ටන කළමනාකරණය සඳහා වන නවීන සායනික ක්‍රමවේද, සර්ප විශේෂ සංරක්ෂණය සඳහා වන ගෝලීය උපායමාර්ග මෙන්ම සර්ප විද්‍යාව සහ වනජීවී ජීව විද්‍යාව පිළිබඳ අලුත්ම පර්යේෂණ තොරතුරු රැසක් හුවමාරු කරගැනීමට නියමිතය. මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර සම්මේලනයක් සාර්ථකව මෙහෙයවීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට දැවැන්ත වටිනාකමක් එකතු වන බවද සංවිධායක මණ්ඩලය පෙන්වා දෙයි.
















