පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කෙරෙන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා ලබන 28 වැනිදා තෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනු ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.
ඔහු රෝහලෙන් මුදා හැරීම සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව වෛද්‍ය වාර්තාවල සඳහන් බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
දින 100කට අධික කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සලේ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම පිළිබඳව ද ලබන 28 වැනිදා වන විට තීරණයක් ගත හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළා. එමෙන්ම, සලේ මහතා මෙතෙක් ලබා නොදුන් ලැප්ටොප් පරිගණකයේ මුරපදය වෙනත් මාර්ගයකින් ලබාගැනීමට කටයුතු කරන බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.
















