බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එය අද රාත්‍රී 10 සිට ඉදිරි පැය 12 සඳහා වලංගු වන අතර බහුදින ධීවර යාත්‍රා සඳහා විශේෂයෙන් අදාළ වේ.
බටහිර මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්කේ පැවති පීඩන පද්ධතිය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව සඳහන් වේ. එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි සමඟ පැයට කිලෝමීටර් 70 දක්වා සුළං ඇතිවිය හැකි අතර මුහුද ඉතා රළු විය හැකිය.
ඒ අනුව උතුරු අක්ෂාංශ 07ත් 22ත් අතර සහ නැගෙනහිර දේශාංශ 83ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී තිබේ. දැනට එම ප්‍රදේශවල සිටින යාත්‍රා ඇත්නම් වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් වන ලෙසද උපදෙස් ලබාදී ඇත.
















