ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් රටට රුපියල් කෝටි 1,400ක, එනම් රුපියල් බිලියන 14ක පාඩුවක් සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළි වූ බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, බාල ගල්අඟුරු ගැටලුව හේතුවෙන් විකල්ප විදුලිය ලබාගැනීමට සිදුවීමෙන් පමණක් රුපියල් කෝටි 800ක සෘජු පාඩුවක් සිදුව ඇති බවයි. ඊට අමතරව රුපියල් කෝටි 400ත් 600ත් අතර වක්‍ර පාඩුවක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
විදුලි ගාස්තු සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය විවේචනය කළ මන්ත්‍රීවරයා, විදුලි බිල සියයට 33කින් අඩු කරන බවට පෙර ප්‍රකාශ කළද, ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 30 සිට රුපියල් 35 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කළා. එමෙන්ම රුපියල් 20කට LNG ලබාගෙන විදුලිය නිපදවන බව පැවසුවද, මේ වන විට බලාගාර ඩීසල් මඟින් ධාවනය වන බවටද ඔහු චෝදනා කළා.
වාහන ආනයන බදු ආදායම හේතුවෙන් 2024 විදුලිබල පනතේ ප්‍රතිපාදන අනුව විදුලි බිල සියයට 30කින් අඩු කිරීමට රජයට මූල්‍ය හැකියාව පවතින බවද හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත එම සහනය ලබා නොදෙන බවට ඔහු චෝදනා කළා. මෙම ප්‍රකාශ සහ චෝදනා මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.














