ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර ආර්ථික හා සංවර්ධන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නව ආයෝජන, සංවර්ධන ආධාර සහ පුහුණු ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබෙනවා.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතාගේ නිල දෝහා සංචාරය අතරතුර මෙම සාකච්ඡා පැවැත්වුණු අතර, කටාර් වාණිජ මණ්ඩලය, කටාර් සංවර්ධන අරමුදල සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ද ඔහු හමුවී තිබෙනවා.
කටාර් වාණිජ මණ්ඩලයේ පළමු උප සභාපති මොහොමඩ් බින් අහමඩ් බින් තවාර් මහතා හමුවූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දෙරට අතර වෙළෙඳාම, ආයෝජන සහ ව්‍යාපාරික සහයෝගීතාව පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. කොළඹ වරාය නගරය, දේපළ වෙළෙඳාම් සහ නව ව්‍යාපාරික ක්ෂේත්රවල ආයෝජන අවස්ථා ද මෙහිදී අවධානයට ලක්ව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, රාජ්‍ය මූල්‍ය විනය සහ ආයතනික ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කටාර් වාණිජ මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘B-’ දක්වා ඉහළ නැංවීම සහ ස්ථාවර ඉදිරි දැක්මක් ලබාදීම පිළිබඳව ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 වැඩසටහන සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
මේ අතර, කටාර් සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අබ්දුල්ලා අල්ෆෙහානි මහතා සමඟ පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය, අධ්‍යාපන සහ නිවාස ඇතුළු ක්ෂේත්රවලින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය පිළිබඳව ස්තුතිය පළ කර තිබෙනවා. ඉදිරියේදී දෙරට අතර සංවර්ධන සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සහ නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද එහිදී සලකා බලා ඇති බව සඳහන්.
දෝහාහිදී ‘එතෙර අපි’ සංවිධානයේ මෙහෙයවීමෙන් පැවති හමුවකදී ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ද නියෝජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා. එහිදී විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසාධනය හා ආරක්ෂාව, සාධාරණ සහ විනිවිද පෙනෙන බඳවා ගැනීමේ ක්‍රමවේද සහ විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන සේවා වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
මෙම හමුවීම් ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර ආයෝජන, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ විදේශ රැකියා ක්ෂේත්රවල සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වූ නිල සංචාරයේ කොටසක්.
















