අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සතියේ ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කළ මාධ්‍ය ආයතන තුනකට යළි ප්‍රවේශය ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව CNN, MS NOW සහ Politico යන මාධ්‍ය ආයතනවලට දින 14ක කාලයක් සඳහා ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රවේශය යළි ලබාදිය යුතු බව කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණය නිකුත් කළ තාවකාලික නියෝගයේ සඳහන් වනවා.
අදාළ මාධ්‍ය ආයතන තුනේ වාර්තාකරුවන්ගේ ධවල මන්දිර මාධ්‍ය අවසරපත්‍ර අත්හිටුවීම සහ ඔවුන්ට ප්‍රවේශය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එම ආයතන අධිකරණය හමුවේ නීතිමය අභියෝගයක් ඉදිරිපත් කර තිබුණා.
ට්‍රම්ප් පරිපාලනය එම තහනම සාධාරණීකරණය කරමින් අදාළ මාධ්‍ය ආයතන අසත්‍ය තොරතුරු පළ කරන බවත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, එම මාධ්‍ය ආයතනවලට එරෙහිව ප්‍රවේශ තහනම ක්‍රියාත්මක කිරීමේදී ධවල මන්දිරය ප්‍රමාණවත් නීතිමය ක්‍රියාපටිපාටියක් අනුගමනය කර නොමැති බව අධිකරණය පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
















