නාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පේළියක් මතට මැයි මාර ගසක් කඩා වැටීමෙන් නිවාස පහක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඊයේ (23) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමඟ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
තුවාල ලැබූවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසු වූ එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි මවක්, ඇගේ 13 හැවිරිදි දියණිය සහ අසල නිවසක පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක්.
අනතුරට ලක් වූ ගස දැඩි අවදානම් තත්ත්වයක පැවති බැවින් එය කපා ඉවත් කරන ලෙස ග්‍රාම නිලධාරීවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා සහ වතු අධිකාරීවරයා ඇතුළු බලධාරීන්ට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නද, ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බව පීඩාවට පත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
සිද්ධියෙන් පසු නාවලපිටිය පොලීසිය සහ මහනුවර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 2 වන බලඇණියේ භට පිරිස් එක්ව ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ගස සම්පූර්ණයෙන් ඉවත් කිරීමට JCB යන්ත්‍රයක් අවශ්‍ය බැවින් මේ වනවිට අනතුරුදායක කොටස් පමණක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
අනතුරින් වතු කම්කරුවන්ගේ පෞද්ගලික භාණ්ඩ ඇතුළු දේපළ රැසකට හානි සිදුව තිබෙනවා. අවතැන් වූ පවුල්වල සාමාජිකයන් වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව රඳවා තැබීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.
















