ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ග්‍රේටර් නොයිඩා හි යමුනා අධිවේගී මාර්ගයේදී ඊයේ (23) රාත්‍රියේ සංචාරක බස් රථයක් ගිනිගැනීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් අවම වශයෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගින්න හටගන්නා අවස්ථාවේ බස් රථයේ මගීන් 35 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව සඳහන්. පොලිසිය පවසන්නේ මූලික විමර්ශනවලදී බස් රථයේ වායු සමීකරණ පද්ධතියේ (AC) සිදුවූ පිපිරීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි.
එම පිපිරීමෙන් එන්ජිමේ ලිහිසි තෙල් ගිනිගෙන, ගින්න වේගයෙන් පැතිරී ගොස් ඇති බවද සඳහන් වනවා.
නොයිඩා සිට උත්තර් ප්‍රදේශයේ බුන්ඩෙල්කාන්ඩ් කලාපයේ මහෝබා බලා යමුනා අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ බස් රථයේ ගින්න හටගන්නා අවස්ථාවේ බොහෝ මගීන් නින්දේ පසුවී තිබෙනවා. ගින්නත් සමඟ ඇති වූ කලබලකාරී තත්ත්වය හමුවේ මගීන් කිහිපදෙනෙකු ජනේලවලින් පිටතට පැන දිවි ගලවා ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
















