Lunch Sheets සහ LDPE/LLDPE වර්ගයේ “සිලි සිලි” බෑග් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
අධිකාරිය සඳහන් කළේ, 2026 සැප්තැම්බර් 15 වැනිදා සිදුකළ මෙම විශේෂ වැටලීම්වලදී දිස්ත්‍රික්ක 22කින් උල්ලංඝන 104ක් පිළිබඳ මූලික වාර්තා ලැබී ඇති බවයි. එම සංඛ්‍යාවට Lunch Sheets සම්බන්ධ උල්ලංඝන 43ක්, “සිලි සිලි” බෑග් සම්බන්ධ උල්ලංඝන 58ක් සහ වෙනත් පොලිතින් ආශ්‍රිත උල්ලංඝන 3ක් ඇතුළත් බව අධිකාරිය සඳහන් කරයි.
Lunch Sheets සම්බන්ධයෙන් නිෂ්පාදකයාගේ තොරතුරු ඇතුළත් නොකිරීම ඇතුළු ලේබල් කිරීමේ නියමයන් උල්ලංඝනය කිරීම පිළිබඳවද වැටලීම් සිදුකර තිබේ. එමෙන්ම “සිලි සිලි” බෑග් සඳහා මුදල් අය නොකිරීම සම්බන්ධයෙන්ද පියවර ගෙන ඇති බව අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිල තොරතුරු අනුව, ආහාර දවටන හෙවත් Lunch Sheets සඳහා 2019 නොවැම්බර් 29 දිනැති අංක 2151/58 දරන ගැසට් පත්‍රය යටතේ විධාන අංක 70 ක්‍රියාත්මක වේ. එම නියමයන්ට අනුකූල නොවන භාණ්ඩ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව අධිකාරිය පෙන්වා දෙයි.
















