එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල සැසිවාරයේ උසස් පෙළේ රාජ්ය නායක සමුළුව සහ මහා විවාදය නිව්යෝර්ක් නුවරදී ක්රියාත්මක වන පසුබිමක, ශ්රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා හෙට (26) දින අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ලබන සැප්තැම්බර් 28 වන දින මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිත අමාත්යවරයා, ජාත්යන්තර ප්රජාව හමුවේ මෙරට විදේශ ප්රතිපත්ති ප්රමුඛතා මෙන්ම ගෝලීය වැදගත්කමක් ඇති ප්රධාන අභියෝග සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කිරීමට අපේක්ෂා කරයි. පසුගිය වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ගෝලීය වේදිකාව ඇමතූ අතර, මෙවර විදේශ අමාත්යවරයාගේ මෙම සහභාගීත්වය හරහා ජාත්යන්තර සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමට නියමිතය.
මෙවර මහා මණ්ඩල සැසිවාරය සාමය සහ ආරක්ෂාව, තිරසාර සංවර්ධනය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, මානව හිමිකම්, ඩිජිටල් පාලනය සහ කෘත්රිම බුද්ධිය මෙන්ම බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ප්රතිසංස්කරණ යන ක්ෂේත්ර 6ක් ප්රධාන ප්රමුඛතා ලෙස හඳුනාගෙන තිබේ. මෙම සංචාරය අතරතුර අමාත්ය විජිත හේරත් මහතාට විදේශ අමාත්යවරුන් සහ එක්සත් ජාතීන්ගේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සමඟ අන්යෝන්ය වශයෙන් වැදගත් වන කරුණු මුල් කරගනිමින් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද පුළුල් අවස්ථාව හිමිවනු ඇත. ගෝලීය පරිවර්තනයන් සිදුවන වකවානුවක ශ්රී ලංකාව සහ ජාත්යන්තර ප්රජාව අතර පවතින රාජ්ය තාන්ත්රික සබඳතා වර්ධනය කර ගැනීමට මෙම අන්තර්ජාතික හමුවීම් දැඩිලෙස බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අමෙරිකානු සංචාරය නිමවීමෙන් අනතුරුව ශ්රී ලංකාවේ විදේශ ප්රතිපත්තිය නව මානයකට ගෙන යාමටත්, මෙරට ආර්ථික සහ සංචාරක ක්ෂේත්ර නඟාසිටුවීම සඳහා ජාත්යන්තර සහයෝගීතාව තහවුරු කර ගැනීමටත් රජය අපේක්ෂා කරයි. ගෝලීය අභියෝග හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්රී ලංකාව මුහුණ දෙන ගැටලු සහ ඉදිරි දැක්ම ලෝක ප්රජාවට ඉදිරිපත් කිරීමට ලැබෙන මෙම කදිම අවස්ථාව රටේ ජාතික ප්රතිරූපය නංවාලීමට ඉමහත් රුකුලක් වනු ඇත. ඉදිරි කාල සීමාව තුළ මෙම රාජ්ය තාන්ත්රික සාකච්ඡාවල ප්රතිඵල මෙරට විදේශීය සබඳතා සහ සංවර්ධන ක්රියාවලිය කෙරෙහි ධනාත්මක ලෙස බලපානු ඇති බවට රාජ්ය තාන්ත්රික විචාරකයෝ විශ්වාසය පළ කරති.














