දෙහිවල, සිරිසඟබෝ මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (25) දෙහිවල පොලිස් වසමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් එම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැක කෙරේ.
පසුගිය 11 වැනිදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා තිබුණි. මීට පෙර ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
නව සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 960ක් සහ අපරාධය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන පිළියන්දල සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.















