හෙක්ටයාර් 9,538කට අධික භූමි ප්‍රදේශයක් ආවරණය වන වනාන්තර 20ක් “වනස්පති” ජාතික වැඩසටහන යටතේ අද (26) සංරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වවුනියාව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පිහිටි මෙම වනාන්තර සඳහා අදාළ ගැසට් නිවේදනය අද සඳතැන්න ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා වන විද්‍යායතනයේදී පරිසර අමාත්‍ය දම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතය.
රටේ වන පද්ධතිය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “වනස්පති” ජාතික වැඩසටහන යටතේ මේ වන විට වනාන්තර 93ක් සංරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි. අලුතින් ගැසට් කිරීමට නියමිත වනාන්තර 20ද ඇතුළත් කිරීමෙන් සංරක්ෂිත වනාන්තර යටතේ පවතින සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 65,000කට ආසන්න වනු ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම වැඩසටහන මඟින් රටේ වනාන්තර පද්ධතිය තවදුරටත් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම අරමුණු කර ඇති අතර, නව වනාන්තර සංරක්ෂිත ලෙස නම් කිරීමේ වැඩපිළිවෙළ යටතේ අද අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
















