ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් වූ ‘සින්ග්ලංකා’ සමාගමේ නිර්මාතෘ ආනන්ද ගනේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට සුභාවිත ගීතය පුනර්‌ජීවනය කිරීම සහ සංවර්‌ධනය කිරීම වෙනුවෙන් දීර්‌ඝකාලීන මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවෙකු ලෙස ඒ මහතා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
මෙරට සංගීත ශිල්පීන් සහ නිර්මාණකරුවන් සමඟ සමීපව කටයුතු කළ ආනන්ද ගනේගොඩ මහතා, ඔවුන්ගේ නිර්මාණාත්මක ස්වාධීනත්වය, ගුණාත්මකභාවය සහ ආර්‌ථික සුබසාධනය වෙනුවෙන් ‘සින්ග්ලංකා’ කැසට් නිෂ්පාදන ආයතනය ආරම්භ කර තිබුණි. ගුවන්විදුලි මාධ්‍යයෙන් අනතුරුව රසික රසඥතාවට ගෞරව කරමින් උසස් සංගීත නිර්මාණ ජනගත කළ ආයතනයක් ලෙස ‘සින්ග්ලංකා’ සංගීත ක්ෂේත්‍රයේ ඇගයීමට ලක්ව තිබේ.
ආනන්ද ගනේගොඩ මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ජාලයක සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. ඒ මහතාගේ දේහය මේ වනවිට ගල්කිස්ස, ටෙම්ප්ලර්‌ස් පාරේ අංක 179/2 දරන පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු සිදුකරන දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව පවුලේ ආරංචි මාර්‌ග සඳහන් කරයි.
















