ධීවර ජනතාවගේ දෛනික ධීවර කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැලසීමේ අරමුණින් සංවර්ධනය කළ ගන්දර ධීවර වරායේ නව පහසුකම් ඊයේ (25) සිට සීමිත මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කර තිබේ. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ වරායේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම සංවර්ධන කටයුතු සිදුකර ඇත.
නව ඉදිකිරීම් යටතේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඇතුළු පහසුකම් සකස් කර ඇති අතර, වෙරළාරක්ෂක බලකාය, ධීවර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියට මෙහෙයුම් හා අධීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබේ. ඉදිරියේදී ශ්‍රී ලංකා රේගුවටද මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමට නියමිතය.
මීට අමතරව ඩීසල් සහ භූමිතෙල් සැපයීම සඳහා ඉන්ධන බෙදාහැරීමේ ස්ථානයක්, සුළු පන්න ධීවරයින්ගේ බෝට්ටු නැංගුරම් ලෑම සඳහා ස්ථානයක්, මත්ස්‍ය වෙන්දේසි ශාලාවක්, ශ්‍රවණාගාරයක්, පානීය ජල පහසුකම් සහ වාහන නැවැත්වීමේ පහසුකම් ඇතුළු මූලික පහසුකම් රැසක් සපයා තිබේ. මෙම අවස්ථාවට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නිලධාරීන් හා සේවකයන් සහ ධීවර ජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















